Friday, December 30, 2016

Ayurvedaya


ආයුර්වේදය
ආයුර්වේදය යනු ආයුෂ පිළිබඳ වේදයයි. ආයුෂ යනු දීර්ඝ ජීවිතය, ජීවන, චිර ජීවන යන අර්ථ දක්වයි. වේදය යනු අයහපත් දෙය ඉවත් කර යහපත් දෙය වැළඳ ගැනීමට වුවමනා වන දැනුම දෙන උතුම් උපදෙස් පරපුරයි. එනම් ආයුර්වේදය යනු දිගු කලක් ජීවත් වීමට ඉවහල් වන උසස් උපදෙස් මාලාවයි.
ඕනෑම වෛද්‍ය ශාස්ත්‍රයක පරමාර්ථය වන්නේ ජනතාවගේ සෞඛ්‍ය සංරක්ෂණය සහ රෝග මර්දනයයි. එහෙත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මීට වඩා පුළුල් පරමාර්ථ දක්වයි. එනම් ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ පුරුෂාර්ථයන් සිදුවන සේ පුද්ගලයාගේ සෞඛ්‍ය සංරක්ෂණය කිරීම සහ රෝග මර්දනයයි. මෙහි ධර්ම යනු ධර්මානුකූල ව ගෙවීමයි. අර්ථ යනු සාධාරණ ආකාරයෙන් ධනය රැස් කිරීමයි. කාම යනු ඉපයූ ධනයෙන් යහපත් ලෙස ඉන්‍ද්‍රියන් පිනවීමයි. මෝක්ෂ යනු මෙලොව ජීවිතය සැපවත් ව සතුටින් ගතකර මරණයෙන් මතු සුගතියට යාමයි. මේ අනුව පෙනී යන්නේ ආයුර්වේද දර්ශනය තුල මෙලොව ජීවිතය නීරෝගී ව ගත කරන මාර්ගය මෙන් ම පරලොව දී සුගතිය කරා යන මාර්ගය ද පැහැදිලි කර ඇති බවයි.
ආයුර්වේද දින චර්යා
දින චර්යා යනු දෛනික ව පිළිපැදිය යුතු ක්‍රියා පිළිවෙතකි. මෙහි දී ආයුර්වේදානුකූල ව දිනයක් ලෙස සැලකෙන්නේ පෙරදින හිරු උදාවන මොහොතේ සිට පසුදින හිරු උදාවන තෙක් කාල සීමාවයි.
උදෑසන අවදිවීම
දිනපතා අලුයම නිශ්චිත වේලාවකට අවදිවීමට පුරුදු වන්න. මේ සඳහා සුදුසු ම වේලාව “බ්‍රහ්ම මුහුර්තයයි“. බ්‍රහ්ම යනු ශ්‍රේෂ්ඨ යන්නත්, මුහුර්ත යනු වේලාව යන්නත් අර්ථ දැක්වේ. ඒ අනුව බ්‍රහ්ම මුහුර්තය යනු ශ්‍රේෂ්ඨ වේලාවයි. බ්‍රහ්ම මුහුර්තය ලෙස සැලකෙන්නේ හිරු උදාවට පෙර ඇති විනාඩි 48ක කාලයයි. මෙය වර්තමාන ඔරලෝසු වේලාවෙන් 4.54 හා 5.42 අතරතුර කාලයයි. මෙම කාල සීමාවේ දී අවට පරිසරය සන්සුන් ය. පිරිසිදු වාතාශ්‍රයක් ද පවතී. මනස ද නිරවුල් ය.
උදෑසන අවදිවීමේ දී ඇතිවන යහපත් ප්‍රතිඵල
  • නැවුම් පිරිසිදු වාතය ආශ්වාස කිරීමෙන් ගත සිත ප්‍රබෝධමත් වේ.
  • ලේ පිරිසිදු වේ. හදවත, මොළය සහ ස්නායු පද්ධතිය උත්තේජනය වේ.
  • ධාරණ හා මතක ශක්තිය දියුණු වේ.
  • තම එදිනෙදා කටයුතු ක්‍රමවත් කර ගැනීමට හැකි වේ.
උණුකර නිවාගත් වතුර වීදුරුවක් පානය කිරීම
මේ මගින් ආහාර ජීර්‍ණ පද්ධතිය උත්තේජනය වන අතර මල පිටවීම පහසු කරයි. සෙම බහුල නම් මද උණුසුම් වතුර වීදුරුවක් පානය කරන්න.
මල මුත්‍රා බැහැර කිරීම
රාත්‍රි කාලය තුළ ශරීරය තුළ එක්රැස් වූ මල මුත්‍රා උදෑසන අවදි වූ විට බැහැර කළ යුතු ය. මෙම ස්වාභාවික අවශ්‍යතාව දැනුණු විගස අතපසු කිරීම නොකළ යුතු ය. එම වේග දරා සිටීම නිසා ශරීරයේ ස්වාභාවික ක්‍රියාවලියට බාධාවක් සිදු වේ. එය සෞඛ්‍යයට අහිතකර ය. එමගින් මලබද්ධය, අර්ශස්, භගන්‍දරා, මුත්‍රා ගල් සෑදීම සිදු වේ. මේ නිසා උදෑසන අවදි වූ විට මල මුත්‍රා බැහැර කිරීම ඉතා වැදගත් ය. ඉන්පසු සබන් යොදා අතපය සෝදාගත යුතු ය.
දත් හා දිව මැද මුඛය පිරිසිදු කිරීම
දත් ආහාර ජීර්‍ණයට ඉතා වැදගත් කාර්යයක් ඉටු කරයි. ආහාර හොඳින් විකා කෑමට නිරෝගී ශක්තිමත් දත් දෙපලක් අවශ්‍යයි. එබැවින් දත් සහ මුඛ සෞඛ්‍යය රැක ගැනීම නිරෝගී ජීවිතයකට අත්‍යාවශ්‍ය ය. ආයුර්වේදයට අනුව දත් මැදීමෙන් අපේක්ෂා කරන්නේ දත් සහ විදුරුමස් සෞඛ්‍ය පමණක් නොවේ. මුඛයේ දුගඳ ඉවත් කිරීම, අනවශ්‍ය සෙම් කොටස් ඉවත් කර මුඛය පිරිසිදු කිරීම, මුඛයේ ප්‍රසන්න බව, කුසගිනි දැල්වීම, ආහාර රුචිය, සිතේ ප්‍රසන්න බව යන මේවා ද ඇති කිරීම ය.
මේ සඳහා ආයුර්වේද ඖෂධ අඩංගු සංයෝගයකින් හා දැහැටි කූරකින් හෝ දත් බුරුසුවකින් දත් මැදීම කළ හැක.
දැහැටි කූරක් සකසා ගන්නා ආකාරය
කොහොඹ, කරඳ, පිල, බෝඹු, කිහිරි, මූණමල්, කුඹුක්, එරඬු වැනි ඹෟෂධීය ශාකයක අත්තක් හෝ මුලක් භාවිතා කළ හැක. අඟල් 8“ පමණ දිග සුළැඟිල්ලක් පමණ මහත අතු කැබැල්ලක් කපා ගන්න. එහි එක් කෙළවරක් අඟලක පමණ දිග ප්‍රමාණයක් දතින් හොඳින් සපා කෙඳි වෙන් වන සේ හොඳින් සකස් කරගෙන ඉන් දත් මදින්න. දැහැටි කූරක් දිනපතා සකස් කරගන්නා බැවින් අලුත් වීමෙන් පිරිසිදු බව රැකෙන අතර, දත් අතර රැඳෙන අපද්‍රව්‍ය ඉවත් කර ගැනීමට පහසු වන නිසාත් ඖෂධීය ගුණය නිසාත් දත් හා විදුරුමස් රෝග අඩු කරයි.
දත් මැදීමේ දී දතින් දත සිහියෙන් යුතු ව මැදීමටත්, මුව සේදීමේ දී උඩු ඇන්දේ විදුරුමස් පහළටත්, යටි ඇන්දේ විදුරුමස් ඉහළටත් හොඳින් සෝදා හරින්න. දිව ද හොඳින් මැද උගුර සෝදා හැර පිරිසිදු කර ගත යුතු ය.
ජීවිතයට යහ මඟට ගෙනෙන විහරණ
විහරණ යනු පැවතුම් ය. නිරෝගී දිවි පෙවෙතක් ගතකිරීම සඳහා යහපත් පැවතුම් අවශ්‍ය ය. යහපත් පැවතුම් යනු අහිතකර දේ අත්හැරීම සහ හිතකර දේ අනුගමනය කිරීම පුරුදු වීම ය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මේ පිළිබඳ ඉතා පැහැදිලිව සඳහන් වී ඇත. එම පැවැතුම් සද්වෘත හෙවත් සදාචාර වශයෙන් හා ධර්මචර්යා වශයෙන් හැඳින්වේ.
සද්වෘත
  • කැස්ස, කිවිසුම්, මල, මූත්‍ර වේග දරා නොසිට පිටකර හැරීම.
  • ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, රාග, ද්වේශ, මෝහ, මද, මාන ආදී මානසික වේග පිට නො කරන්න. ඒවා ඉවසීමෙන් දරා ගත යුතු ය.
  • පංචේන්ද්‍රිය, අත්, පා ආදී ඉන්ද්‍රිය සහ අවයව වෙහෙස වන සේ අධික ලෙස ක්‍රියාවේ නො යෙදීම. ඒවා ප්‍රමාණවත් ලෙස ක්‍රියාවේ යෙදවීම. එම ඉන්‍ද්‍රියන් වැරදි ලෙස හෝ අඩුවෙන් ක්‍රියාවේ යෙදවීම නොකළ යුතු ය.
  • රාත්‍රි නිදිමැරීම, දහවල් නිදාගැනීම අත්හල යුතු ය.
  • නොකිලිටි, ප්‍රියමනාප ඇඳුම් පරිහරණය කළ යුතු ය.
  • අතින් හෝ ලේන්සුවකින් මුව නොවසා කැස්ස, කිවිසුම්, ඈනුම් ඇරීම නො කරන්න.
  • ඉදීම, සිටගෙන සිටීම, ඇවිදීම, නැවීම, නිදාගැනීම ආදී ක්‍රියාවන්හි දී නිවැරදි ඉරියව් භාවිතා කළ යුතු ය.
  • දීප්තිමත් හිරු හෝ වෙනත් එවැනි ආලෝක දෙස එක එල්ලේ නොබැලිය යුතු ය.
  • මධ්‍ය පාන, ධූම පාන නොකළ යුතු ය.
  • කෘතිම කෑම නොකෑ යුතු ය.
  • ආහාර ගත් විගස වෙහෙසීමත්, නින්දට යාමත් අත්හල යුතු ය.
  • ආහාර ගත් විගස ජලය අධික ලෙස පානය නොකළ යුතු ය.
ධර්මචර්යා
ජීවිතය සැපවත් වීමට මනසේ සන්සුන් බව හා සතුට ලබාගත යුතු ය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් කර ඇති ධර්මචර්යා මඟින් මෙම මානසික සෞඛ්‍ය රැක ගත හැකි ය. ධර්ම චර්යා යනු සිත, කය, වචනය යන තුන් දොර හික්මවා ගැනීමයි.
  • ප්‍රාණඝාතයෙන් වැළකීම.
  • සොරකම් කිරීමෙන් වැළකීම.
  • කාමයේ වරදවා නො හැසිරීම.
  • කේලම්, පරුෂ වචන, බොරු ප්‍රලාප නොකිරීම.
  • හිංසාවෙන් වැළකීම.
  • අනුන්ගේ ගුණ ඉවසීම.
  • ලෝභ නොකිරීම.
  • දේවතා, ගුරු, වැඩිහිටි ආදිනට පරිභව නොකිරීම.
  • පිදිය යුත්තන් පිදීම.
  • සැපතේ දීත් විපතේ දීත් සම සිතින් සිටීම.
  • සත්‍යයට ගරු කිරීම හා සත්‍ය කතා කිරීම.
  • කළණ මිතුරන් ඇසුර.
  • මධ්‍යම ප්‍රතිපදාවට අනුව කටයුතු කිරීම.
  • දයාව හා කරුණාව පෙරදැරි ව ජීවත්වීම.
  • ප්‍රසන්න ප්‍රියකරු මුහුණින් සිටීම.
මෙම වැරදි ආහාර පුරුදු අත් මිදෙන්න
  • නියමිත ප්‍රමාණයට වඩා අධික ව ආහාර නො ගන්න (Over Eating)
  • ඉතා වේගයෙන් හෝ ඉතා සෙමින් ආහාර නො ගන්න.
  • බර ආහාර (Heavy meals) වැඩිපුර නො ගන්න.
  • අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉතා අඩුවෙන් ආහාර නො ගන්න.
  • කුසගිනි නොමැති අවස්ථාවන්හී ආහාර ගැනීමෙන් වළකින්න.
  • මුලින් ගත් ආහාර හොඳින් දිරවීමට පෙර නැවතත් ආහාර නො ගන්න.
  • ආහාර ගැනීමේ දී අධික ව ජලය පානය නො කරන්න.
  • සිත පිනවීම සඳහා ආහාර ගැනීමෙන් වළකින්න.
  • එකිනෙකට විරුද්ධ ගුණ සහිත ආහාර වර්ග එක් ව ගැනීමෙන් වළකින්න.
  • මල මුත්‍රාදී වේග දරා සිටින අවස්ථාවල ආහාර ගැනීමෙන් වළකින්න.
  • ඉතා රළු වියළි ස්වභාවයෙන් යුතු ආහාර වර්ග අධික ව නො ගන්න.
  • මෙම නිවැරදි ආහාර පුරුදුවලට යොමුවන්න.
  • කුසගින්න ඇති අවස්ථාවන්හී පමණක් ආහාර ගන්න.
  • මුලින් ගත් ආහාරය දිරවා සිරුරට සැහැල්ලු දැනෙන අවස්ථාවන්හී පමණක් ආහාර ගන්න.
  • බර ආහාර ඉතා අඩුවෙන් ද සැහැල්ලු ආහාර මධ්‍යස්ථ ප්‍රමාණයෙන් ද අනුභව කරන්න.
  • ආහාර ගැනීමේ දී අවධානය එයට යොමු කරන්න.
  • ආහාර හොඳින් විකා ගිලීම සිදු කරන්න.
  • මිහිර රස / ඇඹුල් රස / ලුණු රස / කටුක රස / තිත්ත රස හා කෂාය යන රස වර්ග වලින් යුතු ආහාර වර්ග දෛනික ව ආහාර වේලට එකතු කර ගැනීමට උත්සහ ගන්න.

නිර්මාණය :
අධ්‍යාපන හා සංස්කෘතික ඒකකය
පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව
උතුරු මැද පලාත

0 comments:

Post a Comment